මළසිරුරකින් අපරාධයක් හෙළි කරගන්න හැටි

අප අවට ලෝකයේ දහසකුත් දරුණු අපරාධ සිද්ධ වෙනව. මනුෂ්‍ය ඝාතනයක් කියන්නෙ ඒ අතරින් වෙන්න පුලුවන් භයානකම අපරාධයක්. කොයි තරම් මිනී මැරුම් සියදිවි නසාගැනීම් අපිට අහන්න දකින්න ලැබුණත් මේ හැම එකකටම ඇසින් දුටු සාක්ෂි හම්බුවෙන්නෙ නෑ. එහෙම වෙලාවට නීතියේ සහ යුක්තියේ පිහිටට සිටින්නේ අධිකරණ වෛද්‍ය විද්‍යාවයි. අපට සිතාගන්නවත් නොහැකි තරම් විශාල කරුණු රැසක් මළසිරුරක් ගවේෂනය කිරීමෙන් පමණක් හෙළිකරගන්නට අධිකරණ වෛද්‍ය විද්‍යාවට පුලුවන්. මේ මගින් දරුණු අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කරලන්න විතරක් නෙමෙයි, නිර්දෝෂී මිනිසෙක් අපරාධකාරයෙක් බවට හංවඩු ගැසීමෙන් වළක්වන්නටත් පුලුවන්.

අද අපේ ලිපිය ලියැවෙන්නේ මළසිරුරකින් හෙළිකරගතහැකි ඔබ විශ්මයට පත් කරවන්න සමත් හෝඩුවාවල් සම්බන්ධයෙනුයි. අපේ ලිපියෙන් අපි උත්සාහ කරන්නේ මේ තොරතුරු හැකිතාක් සරළව සහ නිවැරදිව ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. කෙසේ වෙතත් මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමේ උනන්දුවක් ඔබ හට තිබෙනවානම් මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ල සහ ඩබ්ලිව්. ටී. ඇම් මහින්දරත්න වැනි මේ ක්ෂේත්‍රයේ විද්වතුන් විසින් රචිත පොත පත සොයාගෙන කියවීම ඉතා වටිනවා.

මරණය සිදු වූ වෙලාව සොයාගැනීම

ඇසින් දුටු සාක්ෂි කිසිවක් නැතිව මරණයක් සිදුවූ අවස්ථාවක ඒ පුද්ගලයා මියගිය වේලාව සොයාගන්න එක අපරාධ පරීක්ෂණයේදී ඉතාම වැදගත් වන කාරණයක්. මේ සඳහා භාවිතා කරන ක්‍රමවේදයන් කීපයක්ම තිබෙනවා.

උෂ්ණත්වය පරික්ෂා කිරීම (Algor Mortis)

මළසිරුරේ උෂ්ණත්වය පරික්ෂා කිරීම ඉන් එක් ක්‍රමයක්. මරණයෙන් පසු සිරුරින් තාපය පිටවීම නිසා ක්‍රම ක්‍රමයෙන් සිරුරේ උෂ්ණත්වය පහල හෙලීමකට ලක් වෙනවා. මළසිරුර හමුවන අවස්ථාවේ එහි ගුදමාර්ගයට යොදන උෂ්ණත්වමානයක් මගින් මළසිරුරේ උෂ්ණත්වය මැනීම සිදුකිරීමත් ඉන්පසු සිරුරේ අඩුවී ඇති උෂ්ණත්වය ආශ්‍රයෙන් මරණය සිදුවී ඇති කාලය තීරණය කිරීමත් සිදු කරනු ලබනවා. අවට පරිසර තත්ත්වය, මරණයට පත්වී ඇති පුද්ගලයාගේ ඇඳුම් පැළඳුම් වල ස්වභාවය සහ සෞඛ්‍ය තත්ත්වය ගැනත් මේ ගණනය කිරීම් වලදී සැලකිය යුතු වනවා.


ශරීරයේ දරදඬුවීම (Rigor Mortis)

මරණය සිදුවීමෙන් පසු ශරීරයේ දරදඬුවීම ආරම්භ වෙනවා. මෙය මුහුණ,බෙල්ල,අතපය සහ උරහිස් වලින් පටන්ගෙන ක්‍රම ක්‍රමයෙන් මුලු ශරීරයම දරදඬුවීම දක්වා පැතිරෙනවා. ඉන්පසුව නැවත ශරීරයේ දරදඬුබව නැතිවී ලිහිල් ස්වභාවයට පත්වන්න පටන් ගන්නවා.


මරණය සිදුවී දින දෙකක් පමණ කාලයක් ඇතුලත සිරුර හමුවුණිනම් මේ ක්‍රමය භාවිතයෙන් මරණය සිදුවූ කාලය සාර්ථකව ගණනය කරගන්න පුලුවන්. ශරීරය දරඳඬුවී ඇති ස්වභාවය සහ ශරීර උෂ්ණත්වය ආදිය සැලකිල්ලට ගනිමිනුයි මියගිය පසු ගතව ඇති කාලය තීරණය කරනු ලබන්නේ.

ආහාර මාර්ගය පරික්ෂාව

මරණයට පත්වීමෙන් පසු අපි ගන්නා ලද ආහාර බඩවැල් දිගේ ගමන්කිරීම නවතිනවා. මරණයට පත්වූ යම්කිසි කෙනෙක් අවසන් වරට ආහාරය ගත් වේලාව දැනගැනීමට හැකියාව තිබෙනවානම් බඩවැල් වල එම ආහාරය ගමන් කර ඇති දුර ගණනය කිරීමෙන් මරණයෙන් පසු ගතව ඇති කාලයත්, මරණය සිදුවූ වෙලාවත් ගණනය කරගත හැකියි.

ලංකාව හෙල්ලූ සතාසිවම් මිනීමැරුමේදී මේ ක්‍රමය භාවිතයෙන් සතාසිවම් මහත්මිය මියගිය වේලාව දැනගැනීමට වෛද්‍ය නිලධාරීන්ට හැකියාව ලැබී තිබුණා. සතාසිවම් මහත්මිය උදේ ආහාර ගත් වේලාව නිවසේ මෙහෙකාරියගෙන් දැනගැනීමෙන් පසු ආහාර මාර්ග පරික්ෂාවෙන් මිනීමැරුම සිදුවූ කාලය සොයාගනු ලැබුවා.

එල්ලා මැරීමක්ද මරා එල්ලීමක්ද ?

බෙල්ල මිරිකීම මගින් මරණයට පත්වූ කෙනෙකුගේ මළසිරුරක දකින්න පුලුවන් විශේෂ ලක්ෂණ කිහිපයක්ම තියනවා. මුහුණ තද රතු හෝ දම් පැහැයට හැරීම, ඉදිමීම සහ මුහුණේ ලේ ලප ඇතිවීම ඉන් විශේෂයි. ගෙල වැළලාගෙන සියදිවිනසාගන්නා පුද්ගලයෙකුගේ සිරුරේත් මේ හා සමාන ලක්ෂණ දකින්න පුලුවන්. මේ සමානකම් නිසා හදිසි කෝපයෙන් කෙනෙකුගේ ගෙල මිරිකා මරණයට පත්කල අවස්ථාවක මළසිරුර එල්ලා මෙය සියදිවිනසාගැනීමක් සේ පෙන්වන්න සමහර අපරාධකරුවන් උත්සාහ කරනවා.

සාමාන්‍ය මිනිසුන්ව මේ ආකාරයේ ප්‍රයෝගයක් මගින් රැවටීමට හැකි උනත් අධිකරණ වෛද්‍ය විද්‍යාවට අනුව නම් සියදිවි නසාගැනීමක් සහ ගෙල සිරකර මරාදැමීමක් වෙන්කොට හඳුනාගැනීම එතරම් අපහසු කාරණයක් නෙමෙයි. ගෙල වැළලාගෙන මියගිය කෙනෙකුගේ උගුරේ කණ්ටක අස්ථිය (වයියාභ ඇටය) බිඳීමකට ලක් නොවෙන අතර ගෙල සිරකිරීමෙන් හෝ පෑගීමෙන් මරණයට පත් කරන ලද කෙනෙකුගේ මෙම අස්ථිය බිඳීමට ලක් වෙනවා. එම නිසා එල්ලීමෙන් සියදිවිනසාගත් පුද්ගලයෙකුගේ මෙම අස්ථිය බිඳී ඇත්නම් එය මනුෂ්‍ය ඝාතනයක් ලෙසට සලකා පරීක්ෂණ පැවැත්වීම සිදුකරනු ලබනවා.

වෙඩි තැබීම් සහ සියදිවි නසාගැනීම්

වෙඩි තැබීම කියන්නෙ කෙනෙකුට මරණය ළගාකිරීම සඳහා සුලභව භාවිතා කරන ක්‍රමයක්. අපරාධය සිදුවූ ස්ථානය අවට පමණක් නොව වෙඩි වැදුනු සිරුර පරික්ෂා කිරීමෙන්ද වෙඩි තැබීමේ සිද්ධිය ගැන සාක්ෂි රැසක් අනාවරණය කරගන්නට විශේෂඥයින්ට පුලුවන්.

වෙඩි පහර ශරීරයට ඇතුලු වූ සහ පිටවී ඇති ආකාරය පරීක්ෂා කිරීමෙන්ද, ශරීරය මත මූනිස්සම් තුවාල සටහන්වී ඇති ආකාරයෙන්ද වෙඩි තැබීම සිදු කොට ඇති දුර ප්‍රමාණය සහ දිශාව තීරණය කරනු ලබනවා. විශේෂයෙන්ම වෙඩි තබා මරා දැමීමමක් සියදිවි නසාගැනීමක් ලෙසින් පෙන්වන්නට කරන උත්සාහයන් මේ පරීක්ෂණ මගින් ව්‍යර්ථ කරනු ලබනවා.

2002 වසරේදී සිදුවූ හමුදා සෙබල නිමල් ජයකොඩිගේ මරණය සම්බන්ධ සිදුවීම මෙසේ මරා දමා සියදිවි නසාගැනීමක් සේ පෙන්වන්නට උත්සාහ කල අවස්ථාවක් ලෙස දැක්විය හැකියි. වෛද්‍ය පරීක්ෂණ වාර්තාවට අනුව වෙඩි තබා ඇති දුර මීටර දෙකහමාරක් බවට අනාවරණය වීම නිසා ප්‍රමාද වී හෝ මෙය මිනීමැරුමක් අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණා.

ලේ කැටිගැසීමේ සලකුණු ආශ්‍රයෙන් හෙළිවන රහස් – Hypostasis

සමහර මළසිරුරු වල පසුපස හෝ ඉදිරිපස තැලීම් හෝ සීරීම් සලකුණු කියා සැක හිතෙන රතු හෝ නිල් පැහැයට හුරු අඳුරු වර්ණයෙන් යුතු ප්‍රදේශ දකින්න පුලුවන්. බැලූ බැල්මට කෙනෙක්ට මේක පහරදීමක ප්‍රතිඵලයක් වගේ හිතුනත් එය එසේ නොවන අවස්ථා තිබෙනවා.
මරණයක් සිදුවූ වහාම ශරීරයේ ලේ ගමනාගමනය නවතිනවා. මේ නිසා මරණයෙන් පසු මළසිරුර පිහිටා ඇති ආකාරය අනුව ශරීරයේ පහලම කොටසේ රුධිර වාහිනී තුළට රුධිරය එකතුවී කැටිගැසීමෙන් ඒ ප්‍රදේශය රත් පැහැයට හුරු අඳුරු පැහැයකට හැරෙනවා. පහළ කොටසට රුධිරය එකතුවීමට හේතුව 

ගුරුත්වාකර්ෂණයේ බලපෑමයි. මෙලෙස රුධිරය එකතුවීම Hypostasis නමින් තමයි හඳුන්වන්නේ. මරා දැමීමෙන් පසු මළ සිරුර වෙනත් තැනකට ගෙනයාමෙන් සහ ඉරියවු වෙනස් කිරීමෙන් නීතිය රැවටීමට අපරාධකරුවන් උත්සාහ කලත් මේ රතු පැහැති සලකුණු නිසා මරණය සිදුවූ ස්වභාවය සහ ප්‍රදේශය ගැන යම් අවබෝධයකට එන්නට අපරාධ පරීක්ෂකයන්ට හැකියාව ලැබෙනවා.

පිළිස්සී මියයාමක්ද මරා පුලුස්සා දැමීමක්ද?

පුද්ගලයෙක්ව මරා දැමීමෙන් පසු මිනීමැරුමේ ස්වභාවය වසන් කොට සාක්ෂි විනාශ කිරීමට බහුලවම සිදුකරන ක්‍රියාවක් තමයි මළසිරුර පුලුස්සා දැමීම. මෙසේ හදිසි අනතුරකින් පිළිස්සුනා සේ පෙන්වමින් නීතිය මුලාකිරීමට උත්සාහ ගන්නා අවස්ථා ඕනෑතරම් තිබෙනවා.
කෙසේ නමුත් පිළිස්සී ඇති සිරුරක් පරික්ෂාවෙන් සත්‍යය හෙලිදරවු කරගැනීමට දක්ෂ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට එතරම් අපහසු කරුණක් වන්නේ නැහැ. ගින්නකදී පිටවන කාබන් අංශු මළසිරුරේ ශ්වසන නාල වලට ඇතුලු වී නැත්නම් (හුස්ම නොගැනීම නිසා) එය පිළිස්සීමෙන් වූ මරණයක් නොවන බවට තහවුරු කරගන්න පුලුවන්. කෙසේ වෙතත් බාගෙට මැරූ පුද්ගලයෙක්ව පිළිස්සීමේදී මේ තත්ත්වය වෙනස් වනවා. එවිට මළසිරුරෙන් හමුවෙන අනෙකුත් තුවාල, අස්ථි බිඳීම් ආදිය කෙරෙහි අවධානය යොමු කලයුතු වෙනවා.

ඒ වගේම තමයි කල්ගතවී හමුවන සමහර මළසිරුරු කලු පැහැයෙන් යුක්ත වීම හේතුවෙන් බැලූ බැල්මට පිළිස්සී මියගිය පුද්ගලයෙක් හැටියට පෙනෙන්නට තිබෙන ඉඩ වැඩියි. මෙය සිදුවන්නේ මළසිරුර කුණුවී ඇති නිසායි. සාමාන්‍ය ජනතාව මෙවන් මළසිරුරු ගැන වැරදි නිගමන වලට එන අවස්ථාත් තිබෙනවා.

පෙර ආන්දෝලනයට ලක්වූ තජුඩීන් අපරාධ පරීක්ෂණය මෙසේ පිලීස්සීම් පිළිබඳ සිදුකරන ලද පර්යේෂණයකට හොඳ උදාහරණයක්. තජුඩීන්ගේ ශ්වසන පද්ධතිය තුළ කාබන් මොනොක්සයිඩ් නොතිබීම හේතුවෙන් ගිනිගන්නා අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිටි බවට අනාවරණය කරගන්නට පරීක්ෂකයන් සමත්වුනා.

දියේ ගිලීම් සහ මරා දියට දැමීම්

සමහරු දිවිනසා ගැනීමෙන් හෝ හදිසි අනතුරකින් දියේ ගිලී මරණයට පත්වෙනවා. තවත් විටෙක පුද්ගලයෙකුව මරා දමා දියේ ගිල්වන අවස්ථාද තිබෙනවා. සිය දිවි නසාගැනීමක්ද දියේ ගිල්වා මරාදැමීමක්ද කියන එක සෙයාගැනීම අධිකරණ වෛද්‍ය විද්‍යාවට උනත් තරමක් අසීරු කාරණයක්. ඒ සඳහා ශරීරයේ තිබෙන වෙනත් තුවාල ඇඳුම් පැළඳුම් ආදිය පරික්ෂා කල යුතු වෙනවා. කෙසේ වෙතත් වෙනත් තැනකදී මරණය සිදුකර දියේ ගිල්වන ලද අවස්ථාවකදී ඒ ගැන ගැන පහසුවෙන් සොයාගැනීමට හැකියාව තිබෙනවා.

මරණයට පත් කිරීමෙන් අනතුරුව දියේ ගිල්වන පුද්ගලයන්ගේ ස්වරාලය සහ ස්වාසනාලිකා ආදියෙහි ජලය දකින්නට ලැබෙන්නේ නැහැ. කණ්ඩක අස්ථිය හෙවත් වයියාභ ඇටය බිඳී යාමක් සිදු වන්නේත් නැහැ. දියේ ගිලීමෙන් මරණයට පත් වූ කෙනෙක්ගේ අත් පරික්ෂා කිරීමේදී විවිධ ජලජ පැළෑටි. ගල්කැට ආදිය ඒවාගේ සිරවී රැඳී තිබෙන්න පුලුවන්. මරාදමා දියට දමන සිරුරු දරදඬු වීම නිසා දෑත් වල එවන් දේ ග්‍රහණය වීමට තිබෙන ඉඩ ඉතා අඩුයි.

මීට වසර පණහකට පමණ පෙර ලංකාවේ සිදුවූ පෝලින් ද කෘස් මිනීමැරුම මෙසේ දියේ ගිලී මියයාමක් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති කරන ලද සිදුවීමක්. ගෝඨාබය කිරඹකන්ද නම් දරුවාගේ මරණය හදිසි අනතුරක්ද මිනීමැරුමක්ද යන්න තීරණය කිරීමට මරණ පරීක්ෂණ කිහිපයක්ම පවත්වන්නටත් සිදුවුනා.

මරණයෙන් පසු ඇතිවන තුවාල

මරණයෙන් පසු මළසිරුරට තුවාල වීමට ඉඩ තිබෙන අවස්ථා බෙහෙවින් තිබෙනවා. සතුන් කෑම, ප්‍රවේසම් නැති අයුරින් මළ සිරුර පරික්ෂා කිරීම වගේම නීතිය නොමග යැවීම පිණිස අපරාධකරුවන් විසින් ශරීරය තුවාල කිරීම වගේ අවස්ථාත් තිබෙනවා. මරණයට පෙර සහ පසු සිදුවූ තුවාල වෙන්කර හඳුනාගැනීම තරමක් අසීරු කරුණක්. මරණයෙන් පසු සිදුවන තුවාල වලදී ලේ ගලායාමක් සිදු නොවන නමුත් ලේ සලකුණු පරික්ෂාව හැමවිටම නිවැරදි වන්නේද නැහැ. මරණය සිදුවීමත් සමග සිදුවන ඇදවැටීම්, දියේ ගිලී තුවාල සිදුවීම් වැනි සමහර අවස්ථාවලදී ලේ පැල්ලම් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ වැනි අවස්ථාවලදී තුවාල සිදුවූයේ මරණින් පෙරද පසුද යන්න තීරණය කිරීමේදී ගැටලු මතු වෙන්න පුලුවන්.

කෙසේ වෙතත් මෑතකදී සිදුකරන ලද සොයාගැනීමක් අනුව පැවසෙන්නේ පටක පරික්ෂාවක් අනුව මේ තුවාල ගැන වඩාත් නිරවද්‍ය නිගමනයකට ආ හැකි බවයි. මරණයෙන් පසු ඇතිවන තුවාල වල පටක පරික්ෂාවේදී ඒ තුල Leukotriene B4 නම් රසායනය දකින්නට නොලැබෙන බවයි මේ පරීක්ෂණ වලදී ඔප්පු වී තිබෙන්නේ.

අනිවා ඩොට් එල් කේ හී පලවූ ලිපියක් ආශ්‍රයෙනි

ලිපිය වටිනවා කියලා හිතෙනවා නම් පහල තියෙන සමාජ ජාල වලින් තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේ ම පහළින් අපේ බ්ලොග් අඩවිය ෆලෝව් කරලා කමෙන්ට් එකකුත් දාන්න.

- 221 බී ෂර්ලොක් / 221 B Sherlock-

Post a Comment

0 Comments